නීති සවිය

නීති සවිය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නීති සවිය, Narammala.

නීති සවිය | Neethi Saviya

​ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට එදිනෙදා ජීවිතයේදී මුහුණ දීමට සිදුවන නීතිමය ගැටලු සඳහා නොමිලේ උපදෙස් ලබා දෙන ප්‍රජා සත්කාරයකි. නීතියේ පිහිට අවශ්‍ය සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අත්වැලක් වෙමින්, යුක්තිය සැමට සමීප කිරීම අපගේ ඒකායන අරමුණයි.

25/10/2025

තහනම් ඥාති සබඳතා - නීතිය, සමාජය සහ ඔබ දැනගත යුතු දේ

👨‍👩‍👧‍👦 ශක්තිමත් සමාජයක පදනම වන්නේ ශක්තිමත් පවුල් ඒකකයයි. අපේ සංස්කෘතිය සහ සදාචාරය තුළ, පවුලේ පාරිශුද්ධත්වයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. "ව්‍යභිචාරය" හෙවත් ලේ ඥාතීන් අතර සිදුවන ලිංගික සබඳතා, මෙම පවුල් සංස්ථාවේ ශුද්ධත්වයට හානි කරන බරපතල සමාජ ව්‍යසනයක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ නීතිය තුළ ද මෙය ඉතා බරපතල අපරාධයක් ලෙස සලකා ඇති අතර, එවැනි සබඳතාවලට එළැඹෙන අයට දැඩි දඬුවම් නියම කර තිබීමෙන් එහි බරපතලකම මනාව පැහැදිලි වේ.

📜 නීතිය මෙතරම් දැඩි ඇයි?

මෙවැනි දැඩි නීති පැනවීමට හේතුව කුමක්ද? මෙහි මූලික අරමුණු කිහිපයක් පවතී. පවුල තුළ දරුවන් සහ යැපෙන්නන් වැනි අනාරක්ෂිත පාර්ශ්වයන් ලිංගික සූරාකෑමෙන් ආරක්ෂා කිරීම, පවුල් ඒකකයේ ශුද්ධත්වය සහ ව්‍යුහය ආරක්ෂා කිරීම සහ ලේ ඥාතීන් අතර සබඳතා නිසා ඇතිවිය හැකි ජානමය ආබාධ සහිත දරු උපත් වැළැක්වීම ඒ අතර ප්‍රධාන වේ. එය හුදෙක් දඬුවම් දීමක් නොව, සමාජයේ මූලික ඒකකය වන පවුල ආරක්ෂා කිරීමේ පියවරකි.

⚖️ නීතියේ ස්ථාවරය සහ බරපතල දඬුවම්

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත මගින් හඳුන්වා දුන් 364(අ) වගන්තිය, "ව්‍යභිචාරය" යනු කුමක්දැයි පැහැදිලිව අර්ථ දක්වයි. විශේෂයෙන්ම, මෙම වරද සඳහා ස්ත්‍රී දූෂණ වරදකට ලැබෙන දඬුවම් හා සමාන බරපතල දඬුවම් නියම කර තිබේ. ඒ අනුව, වරදකරු වන අයෙකුට වසර හතත් විස්සත් (7-20) අතර කාලයකට බරපතල වැඩ සහිතව සිර දඬුවමක් සහ දඩයක් නියම කළ හැකිය. මෙම වරදට තැත් කිරීම පවා වසර දෙකක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදකි.

🚫 නීතියෙන් තහනම් කළ ඥාති සබඳතා ලැයිස්තුව

දණ්ඩ නීති සංග්‍රහයේ 364(අ) වගන්තියට අනුව, පහත දැක්වෙන ඕනෑම ඥාති සබඳතාවක් අතර සිදුවන ලිංගික සංසර්ගය "ව්‍යභිචාරය" නම් වරද ලෙස සැලකේ

♂️ පුරුෂයෙකුට තහනම් වන සබඳතා

1. ​තමන්ගේ මව ඇතුළු සෘජු පරම්පරාවෙන් පැවත එන කාන්තාවන්.

2. ​දරුකමට හදාගත් දියණිය.

3. ​තමන්ගේ මිණිබිරිය (පුතාගේ හෝ දුවගේ දියණිය).

4. ​දරුකමට හදාගත් මිණිබිරිය.

5. ​පූර්ණ ලේ ඥාති සහෝදරිය (එකම දෙමව්පියන්ගේ දියණිය).

6. ​අර්ධ ලේ ඥාති සහෝදරිය (එකම පියා හෝ මව පමණක් සිටින සහෝදරිය).

7. ​දරුකමට හදාගැනීමෙන් ඥාති වූ සහෝදරිය.

8. ​සහෝදරයාගේ දියණිය (ලේලිය).

9. ​සහෝදරියගේ දියණිය (ලේලිය).

10. ​භාර්යාවට වෙනත් පියෙකුගෙන් සිටින දියණිය (කුඩම්මාගේ දුව).

11. ​පුත්‍රයාගේ වැන්දඹු බිරිඳ (ලේලිය).

12. ​මුණුබුරාගේ වැන්දඹු බිරිඳ.

13. ​සීයාගේ වැන්දඹු බිරිඳ (කුඩම්මා/මිත්තණිය).

♀️​කාන්තාවකට තහනම් වන සබඳතා

14. පූර්ණ ලේ ඥාති සහෝදරයා.

15. අර්ධ ලේ ඥාති සහෝදරයා.

16. දරුකමට හදාගැනීමෙන් ඥාති වූ සහෝදරයා.

17. සහෝදරයාගේ පුත්‍රයා (බෑනා).

18. සහෝදරියගේ පුත්‍රයා (බෑනා).

19. ස්වාමිපුරුෂයාට වෙනත් මවකගෙන් සිටින පුතෙකු (කුඩම්මාගේ පුතා).

20. දියණියගේ වැන්දඹු ස්වාමියා (බෑනා).

21. මිණිබිරියගේ වැන්දඹු පුරුෂයා.

22. ආත්තම්මාගේ (මවගේ මවගේ) වැන්දඹු පුරුෂයා (කුඩප්පා/මුත්තා).

⚠️ ඔබ විශේෂයෙන්ම දැනගත යුතු නීතිමය කරුණු

👉 "කැමැත්ත" නීතිමය ආරක්ෂාවක් නොවේ

මෙහිදී ඉතාම වැදගත් කරුණක් නම්, තහනම් ඥාතීන් දෙදෙනාගේම 'කැමැත්ත' ඇතිව ලිංගික සබඳතාවක් සිදු වුවද, එය ව්‍යභිචාරය නම් වරදෙන් ගැලවීමට හේතුවක් නොවන බවයි. නීතිය ඉදිරියේ, මෙම ඥාති සබඳතාවය පැවතීමම අපරාධය සිදු වීමට ප්‍රමාණවත් වේ.

👉 විශ්වාසය සහ බලය භාවිතා කිරීම

ව්‍යභිචාරය යනු බොහෝ විට, දෙමාපියෙකු, වැඩිමහල් සහෝදරයෙකු හෝ භාරකරුවෙකු වැනි බලයක් ඇති අයෙකු විසින් තමා යටතේ සිටින දුර්වල සහ අනාරක්ෂිත පාර්ශ්වයේ විශ්වාසය බිඳ දමමින් සිදුකරන බරපතල අපයෝජනයකි. නීතිය මෙම බල අසමතුලිතතාවය දෙස ඉතා දැඩිව බලයි.

👉 නීත්‍යානුකූල බවේ දෝෂ

අදාළ ඥාති සබඳතාවල නීත්‍යානුකූල භාවයේ යම් දෝෂයක් (උදා: දෙමව්පියන් නීත්‍යානුකූලව විවාහ වී නොසිටීම) තිබුණද, එය ව්‍යභිචාරය නම් වරද සිදු වීමට බාධාවක් නොවන බව දණ්ඩ නීති සංග්‍රහය පැහැදිලිවම දක්වයි.

✅ නිහඬව නොසිටින්න - උපකාර පතන්න

ඔබ හෝ ඔබ දන්නා අයෙකු මෙවැනි තත්ත්වයකට මුහුණ දී සිටින්නේ නම්, නිශ්ශබ්දව වේදනා විඳිය යුතු නැත. ඔබට උපකාර ලබාගත හැකි ස්ථාන තිබේ.

👉ළඟම ඇති පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කරන්න.

👉 පොලිස් ක්‍ෂණික ඇමතුම් (කාන්තා හිංසන) අංකය වන 109 අමතන්න.

👉 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි ඇමතුම් අංකය වන 1929 අමතන්න.

👉 නීති ආධාර කොමිෂන් සභාවෙන් නොමිලේ නීති උපදෙස් ලබාගන්න.

මෙවැනි අපරාධයක් වසන් කිරීම ද වරදට අනුබල දීමකි. එබැවින්, දැනුවත් පුරවැසියෙකු ලෙස ක්‍රියා කරමින්, මෙවැනි තත්ත්වයන් වාර්තා කිරීම සහ වින්දිතයින්ට සහය වීම අප සැමගේ වගකීමකි.

✍️සැකසුම: නීතිඥ නාලින්ද දිසානායක.

මෙම නීතිමය දැනුවත් කිරීම සමාජයට වැදගත් යැයි ඔබ සිතන්නේ නම්, Like 👍 කර, ඔබේ අදහස් Comment කරන්න. තවත් අයෙකුගේ දැනුම පිණිස Share කරන්න.

📢Published by Admins of Law Guide ©️

#තහනම්සබඳතා #නීතිඅත්වැල #අපරාධනීතිය #නීතිදැනුම #ළමාආරක්ෂාව #සමාජදැනුවත්කම #නීතිඅත්වැල

19/10/2025

හදිසි මුදල් අවශ්‍යතාවයකට හිතුවට වඩා අඩු මුදලකට ඉඩම වික්කාද? 😥💸 - නීතියේ පිහිටෙන් එම ඔප්පුව අවලංගු කරගත හැකි බව ඔබ දන්නවාද? ⚖️

අප ජීවත් වන සමාජයේ, විවිධ ආර්ථික දුෂ්කරතා හෝ පෞද්ගලික ගැටලු නිසා තමන් සතු වටිනා ඉඩමක් හෝ දේපළක් එහි සැබෑ වටිනාකමට වඩා ඉතා අඩු මුදලකට විකුණා දැමීමට බොහෝ දෙනෙකුට සිදුවේ. පසුව එම ගනුදෙනුව ගැන පසුතැවෙන නමුත්, "ඔප්පුවකින් විකුණු දෙයක් ආයෙ ගන්න බෑ" යන පොදු මතයේ එල්බගෙන අසරණ වන අවස්ථා අප කොතෙකුත් දැක ඇත. නමුත්, ඔබ නොදන්නවා වුවත්, එවැනි අසාධාරණ ගනුදෙනුවකින් ඔබව ගලවා ගැනීමට ශ්‍රී ලංකාවේ නීතිය තුළ ඉතා පැරණි එහෙත් බලවත් නීතිමය මූලධර්මයක් පවතී. අද අපගේ සාකච්ඡාවට බඳුන් වන්නේ එම "Laesio Enormis" (අසාමාන්‍ය පාඩුව) නම් වූ නීතිමය සංකල්පයයි. 🏡🤔

"Laesio Enormis" යනු කුමක්ද? - ඉතිහාසයේ සිට වර්තමානය දක්වා 📜

Laesio Enormis යනු සරලවම, යම් දේපළක් එහි සැබෑ වටිනාකමින් අඩකටත් වඩා අඩු මුදලකට විකුණනු ලැබුවේ නම්, එම ගනුදෙනුව අවලංගු කිරීමට විකුණුම්කරුට ඉඩ සලසන නීතිමය මූලධර්මයකි. මෙම සංකල්පයේ මූලාරම්භය රෝම නීතිය දක්වා දිව ගියත්, එහි සැබෑ බීජ පුරාණ මැද පෙරදිග පැවති "මිදීමේ අයිතිය" (Right of Redemption) නම් සංකල්පය තුළ පවතින බවට මත ඉදිරිපත් වී ඇත. ණයගැතිභාවය නිසා විකුණන ලද පවුලේ දේපළක් නැවත මුල් මිලටම ලබාගැනීමේ අයිතියක් එමගින් හිමි විය. මෙම සංකල්පය පසුකාලීනව රෝම-ලන්දේසි නීතියට ඇතුළත් වූ අතර, ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේ එම නීතිය අපගේ නීති පද්ධතියේ කොටසක් බවට පත් විය. 🏛️ අද වන විට, රෝම-ලන්දේසි නීතිය තවමත් ක්‍රියාත්මක වන ලෝකයේ ඉතා ස්වල්ප රටවල් අතරින් ශ්‍රී ලංකාව එක් රටක් වන අතර, එම නිසාම මෙම Laesio Enormis පිළියම අප රටේ ඉඩම් ගනුදෙනු සම්බන්ධයෙන් තවමත් පූර්ණ බලයෙන් ක්‍රියාත්මක වේ. 🇱🇰🌏

ඔප්පුවක් අවලංගු කිරීමට සපුරාලිය යුතු ප්‍රධාන කොන්දේසි මොනවාද? 📝

මෙම නීතිමය පිළියම ලබාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අධිකරණය හමුවේ කරුණු කිහිපයක් ඉතා පැහැදිලිව ඔප්පු කළ යුතුය

1️⃣ වටිනාකම අඩකටත් වඩා අඩු වීම 📉

වැදගත්ම කොන්දේසිය වන්නේ, ගනුදෙනුව සිදු වූ අවස්ථාවේදී ඉඩම සඳහා ගෙවන ලද මිල, එහි සැබෑ වටිනාකමින් අඩකටත් වඩා අඩු බව ඔප්පු කිරීමයි. උදාහරණයක් ලෙස, ඉඩමේ සැබෑ වටිනාකම ලක්ෂ 20ක් නම්, ඔබ එය ලක්ෂ 10කට අඩුවෙන් විකුණා තිබිය යුතුය. 💰

2️⃣ විකුණුම්කරුගේ නොදැනුවත්කම 🤷‍♂️

මෙම සහනය හිමිවන්නේ, ඉඩමේ සැබෑ වටිනාකම පිළිබඳව නොදැනුවත්ව සිටි විකුණුම්කරුවෙකුට පමණි. ඔබ ඉඩමේ සැබෑ වටිනාකම දැන දැනම, හදිසි අවශ්‍යතාවක් නිසා හෝ වෙනත් හේතුවක් මත අඩු මුදලකට විකිණීමට එකඟ වූයේ නම්, මෙම මූලධර්මය ඔබට අදාළ නොවේ.

3️⃣ ඔප්පු කිරීමේ භාරය 🏋️‍♂️

ඉඩමේ සැබෑ වටිනාකම සහ ගනුදෙනුව අසාධාරණ බව ඔප්පු කිරීමේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ නඩුව පවරන ඔබටයි.

4️⃣ අදාළ වන දේපළ වර්ගය 🏞️

මෙම මූලධර්මය ශ්‍රී ලංකාවේ නීතියට අනුව, ස්ථානීය දේපළ (ඉඩම්) සඳහා පැහැදිලිවම අදාළ වේ. එහෙත්, සමාගම් කොටස් වැනි චංචල දේපළ සඳහා මෙය අදාළ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. 🚫🏢

ශ්‍රී ලංකාවේ නඩු තීන්දු අපට කියා දෙන පාඩම් 🧑‍⚖️

මෙම සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමට ශ්‍රී ලංකාවේ අධිකරණ ලබා දුන් තීන්දු කිහිපයක් දෙස බලමු

👉 පොඩි මැණිකා එ. හීන් මැණිකේ ([2004]3 SLR 289) නඩුව

මෙම නඩුවේදී, විත්තිකරු ඉඩම විකුණන අවස්ථාවේදී එහි සැබෑ වටිනාකම රු. 60,000ක් බව තමා දැන සිටි බවට අධිකරණයේදී පිළිගන්නා ලදී. ඔප්පුවේ වටිනාකම රු. 20,000ක් ලෙස සඳහන් වුවද, ඇය සැබෑ වටිනාකම දැන සිටි නිසා Laesio Enormis මූලධර්මයේ පිහිට ඇයට හිමි නොවන බවට අධිකරණය තීන්දු කළේය. 🧠

👉 වයිරමුත්තු පලගපොඩි (CA/201/1998) නඩුව

මෙම නඩුවේදීද, පැමිණිලිකරු තම ඉඩමේ වටිනාකම රු. 20,000ක් බව දැන සිටි බවට සාක්ෂි ලබා දුන්නේය. එසේම, ඉඩමේ වටිනාකම සැබවින්ම ඉතා ඉහළ අගයක් ගත් බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔහු අසමත් විය. එම නිසා, දේපළෙහි වටිනාකම දැන සිටීම සහ එය ඔප්පු කිරීමට අපොහොසත් වීම යන හේතු මත ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. 📉

👉 රත්වත්තේ එ. ගුණසේකර ([1987] 2 SLR 267) නඩුව

මෙය ඉතා වැදගත් නඩු තීන්දුවකි. මෙහිදී අධිකරණය තීන්දු කළේ, Laesio Enormis මූලධර්මය සමාගම් කොටස් විකිණීමක් සඳහා අදාළ නොවන බවයි. හේතුව, සමාගම් කොටස් යනු ඉංග්‍රීසි නීතියෙන් බිහි වූ නවීන වාණිජමය මෙවලමක් වන අතර, එය රෝම-ලන්දේසි නීතියේ පැරණි "චංචල" හෝ "ස්ථානීය" දේපළ වර්ගීකරණයට නොගැලපෙන බවයි. 📊

👉 රන්කොත්පේඩිගේ ලලිත් ප්‍රේමතිලක (SC Appeal 209/2014) නඩුව

මෙම නඩුවේදී, විත්තිකරුවන් දිස්ත්‍රික් උසාවියේදී Laesio Enormis වාදය මතු කළද, ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා නඩුව විභාග වන විට එම වාදය අත්හැර දමා වෙනත් නීතිමය කරුණු මත විශ්වාසය තැබීය. මෙමගින් පෙනී යන්නේ, මෙම වාදය ඉදිරිපත් කිරීම සහ ජයග්‍රහණය කිරීම සඳහා ඉතා ශක්තිමත් පදනමක් තිබිය යුතු බවයි. 🚶‍♂️

ඔබ මුලින්ම යා යුත්තේ කුමන අධිකරණයටද? 🏛️

ඔබ Laesio Enormis මූලධර්මය යටතේ නඩු පැවරීමට තීරණය කරන්නේ නම්, ඔබ මූලිකවම නඩුව ගොනු කළ යුත්තේ අදාළ ඉඩම පිහිටා ඇති ප්‍රදේශය භාර දිස්ත්‍රික් උසාවියටයි. ශ්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධ සියලුම සිවිල් නඩුවල මූලික අධිකරණ බලය හිමිවන්නේ දිස්ත්‍රික් උසාවියටය.

නීතියේ පිහිට ඇත්තේ අවංක සහ අසරණ වූවන්ටයි! ✅

Laesio Enormis යනු අසාධාරණයට ලක්වූවන්ට ඇති ඉතා වටිනා නීතිමය ආරක්ෂණයකි. නමුත් එය, හිතාමතාම සිදුකළ නරක ගනුදෙනුවකින් පසුතැවෙන අයට පිහිට වන මෙවලමක් නොවේ. ඔබ සැබවින්ම ඔබගේ දේපළෙහි වටිනාකම නොදැන, එම නොදැනුවත්කමෙන් ප්‍රයෝජන ගත් අයෙකුට එය ඉතා අඩු මුදලකට විකුණා අසරණ වී ඇත්නම්, නිසි නීති උපදෙස් ලබාගෙන, ප්‍රමාද නොවී අධිකරණයේ පිහිට පැතීමට පසුබට නොවන්න. ඔබගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වීම, ඔබව අසාධාරණයෙන් ආරක්ෂා කරගැනීමට ඇති හොඳම පලිහයි. 💪🛡️

✍️ සැකසුම: නීතිඥ නාලින්ද දිසානායක.

මෙම ලිපිය ඔබට වැදගත් වුණාද? එසේනම් ඔබගේ මිතුරන් අතරේ බෙදාගන්න (Share) 👍. ඔබගේ අදහස් සහ ගැටලු පහතින් Comment කරන්න. 💬👇

📢 Published by admins of Law Guide ©️

#නීතිය #ඉඩම්නීතිය #ඔප්පු #අවලංගුකිරීම #නීතිඋපදෙස්

18/10/2025

පොතේ නීතිය සහ කමල්ගේ යථාර්ථය අනුව අපේ ක්‍රමය වෙනස් විය යුතුද? ⚖️🤔

" Law Guide " අප පිටුව තුළින්, නිරන්තරයෙන් උත්සාහ කරන්නේ නීති පොතේ 📖 ඇති දේ, ඔබේ අයිතිවාසිකම්, ඔබට පිහිට විය හැකි වගන්ති ගැන ඔබට කියා දෙන්නයි. ඒත්, අපි ඉදිරිපත් කරන ලිපිවලට ඔබ ලබා දෙන අදහස් (Comment) කියවන විට අපිට එක දෙයක් පැහැදිලිවම පේනවා.

ඔබ බහුතරයක් කියන්නේ, "ඔයාලා ඔය පොතේ තියෙන දේ කිව්වට, ඇත්ත ජීවිතේදී අපට වෙන්නේ වෙන දෙයක් 🤷‍♂️" කියලයි. ඒ කලකිරීම, ඒ අවිශ්වාසය අපිට තේරෙනවා.

ඒ නිසා, අද අපි නීති පොත මොහොතකට පැත්තකින් තියලා, ඔබ කියන ඒ යථාර්ථය ගැන කතා කරමු. අපි ඔබට නීතිය කියා දුන්නත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ගිය විට, අපිටත් ප්‍රශ්නයක් මතුවෙනවා "ශ්‍රී ලංකාවේ යුක්තියට මිලක් නියම වෙලාද?"

අවාසනාවකට, මේ ක්‍රමය තුළ "නිර්දෝෂීභාවයටත් මිලක්" 🏷️ නියම වී ඇති බව පේනවා.

අපි මේ කතාව "කමල්" ගෙන් බලමු.

කමල් කියන්නේ උදේ ඉඳන් රෑ වෙනකල් ත්‍රීරෝද රථය 🛺 පදවා, දරු පවුලක් 👨‍👩‍👧‍👦 ජීවත් කරවන, මේ රටේ අපි වගේම සාමාන්‍ය මනුස්සයෙක්.

එක් දවසක්, කමල්ගේ ත්‍රීරෝද රථයේ ගිය මගියෙකුට ගංජා මිලිග්‍රෑම් කිහිපයක් අඩංගු කුඩා පැකට්ටුවක් අමතක වී යනවා. මේ ගැන කිසිවක් නොදන්නා කමල්, පොලිස් පරීක්ෂාවකට 🚓 ලක්වෙනවා. අර පැකට්ටුව හමුවෙනවා. දැන්, නීතියේ ඇසින් කමල් චූදිතයෙක්.

උසාවිය 🏛️ ඉදිරියේ කමල්ගේ අනාගතය තීරණය කරන තේරීම් දෙකක් තිබෙනවා.

✅ තේරීම 1

පද්ධතිය දෙන 'ගැලවීම'

බොරු වරදක් කරපින්නා ගන්න. හිස නමන්න. රුපියල් 5,000ක හෝ 10,000ක දඩයක් 💸 ගෙවලා, කට වහගෙන ගෙදර 🏠 යන්න. එදාට ප්‍රශ්නය ඉවරයි. පහුවදා ඉඳන් ආයෙත් දරුවන් වෙනුවෙන් හයර් එකක් දුවන්න පුළුවන්. හිත ඇතුළේ තමන් ගැනම ඇතිවෙන කලකිරීම 😔 හංගගෙන ජීවත් වෙන්න පුළුවන්.

⚔️ තේරීම 2

සත්‍යයට ගෙවිය යුතු මිල

කමල් තීරණය කරනවා, "මම වැරැද්දක් කළේ නෑ, මම ඒක ඔප්පු කරනවා" කියලා. දැන් තමයි නියම සටන පටන් ගන්නේ. මේ සටනේදී කමල්ට විතරක් නෙවෙයි, රටටත් ගෙවන්න වෙන මිල බලන්න.

👉 කමල්ගේ පැත්තෙන්

1️⃣ නීතිඥ ගාස්තු

අවමයෙන් නඩු වාර 10ක් ගියොත්, එකකට රුපියල් 3,000 බැගින් = 💰 රුපියල් 30,000

2️⃣ අහිමි වන ආදායම

ත්‍රීවීල් පැදලා දවසට රුපියල් 5,000ක් හොයන කමල්, උසාවි එන දින 10ට රස්සාව කරන්න බෑ. අහිමි වන මුදල = 💸 රුපියල් 50,000

3️⃣ අනෙකුත් වියදම්

ගමන් වියදම්, කෑම බීම ආදියට යන මුදල.

සත්‍යය ඔප්පු කරන්න කමල්ගේ සාක්කුවෙන් යන අවම මුදල = ‼️ රුපියල් 80,000+

රුපියල් 80,000ක්! ඒ කියන්නේ කමල්ගේ දරුවන්ගේ මාස ගණනක කිරිපිටි, ඉස්කෝලේ පොත්, ගෙදර කුලිය. තමන් වැරදි නෑ කියන්න ගෙවන්න ඕන මිල තමයි ඒ.

මේ ඔක්කොම වියදම් කරලා, අන්තිමට නඩුව වෙන පැත්තකට කැරකිලා පැරදුනොත්, මේ පාඩුවට අමතරව තවත් ලොකු දඩයක් ගෙවන්නත් කමල්ට සිද්ධ වෙනවා.

👉 රටේ පැත්තෙන් (අපේ බදු මුදල් 🏦💸)

මේ වෙලාවෙම, මහා පරිමාණ හොරු, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ නිදැල්ලේ ඉද්දි, රටේ සම්පූර්ණ නීතියේ බර, පොලිසිය, උසාවිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, මේ හැමෝගෙම කාලයයි, අපේ සල්ලි ටිකයි වියදම් වෙන්නේ, කවුරුහරි දාලා ගිය ගංජා පැකට් එකක් ගැන නඩුවක් අහන්න.

හිතන්න, කමල් නඩුව පැරදිලා, දඩය ගෙවාගන්න බැරිව හිරේට යනවා. එතකොට, ඔහුව දිනපතා නඩත්තු කරන්න රජය (අපි) දරන වියදම කොපමණද? මේක විහිළුවක් නෙවෙයිද?

⚠️ නමුත්, කතාව මෙතැනින් අවසන් නොවේ...

බැලූ බැල්මට පෙනෙන්නේ කමල්ට ඇති හොඳම විකල්පය දඩය ගෙවා "ප්‍රශ්නෙන් ගැලවීම" බවයි. බොහෝ දෙනෙක් කරන්නේද එයයි. නමුත් ඒ 'ගැලවීමේ' අපි නොදකින, සැඟවුණු දිගුකාලීන මිලක් තිබෙනවා.

කමල් නොකළ වරදකට දඩ ගෙවූ මොහොතේ සිට, ඔහුගේ නමට "අපරාධ වාර්තාවක්" 📁❌ එක් වෙනවා. අනාගතයේදී හොඳ රැකියාවකට, විදේශ ගතවීමකට ✈️ පොලිස් වාර්තාවක් ඉල්ලුවොත් මොකද වෙන්නේ? දඩය ගෙවූ දවසේ ප්‍රශ්නය ඉවර වුණාට, ඒ කළු පැල්ලම ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහුව ලුහුබඳිනවා විතරක් නෙවෙයි. අනාගතයේදී ඔහුගේ දරුවෙක් 👨‍👧‍👦, විශේෂයෙන්ම රජයේ රැකියාවකට 🎓 අයදුම් කරන විට, 'දෙමව්පියන් අධිකරණයකින් වරදකරුවන් වී ඇත්ද?' කියා අසන කොටුව ඉදිරියේ, තමන් නොකළ වරදක් නිසා, තමන්ගේ දරුවාගේ අනාගතයටත් අනිසි බලපෑමක් එල්ල වෙනවා. එසේනම්, 'පහසු තේරීම' ඇත්තටම පහසුද?

මේ සියල්ලටම වඩා දරුණුම ප්‍රතිඵලය සල්ලි නැතිවීම නෙවෙයි. තමන් ජීවත් වන රටේ නීතියෙන් තමන්ට පිහිටක් නෑ, සත්‍යය ඔප්පු කරන්න ගියොත් තමන් තවත් අමාරුවේ වැටෙනවා කියා සාමාන්‍ය මිනිසෙකුට දැනුණු විට, ඔහුට මේ ක්‍රමය ගැන ඇතිවෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා 💔. ඒ බිඳවැටුණු විශ්වාසය, රටක් ලෙස අප මුහුණ දෙන විශාලම ඛේදවාචකයයි.

අවසාන වශයෙන් අපි ඔබෙන් අහන්නේ මේ ක්‍රමය වෙනස් විය යුතුයි කියා ඔබ සිතනවාද? 🤔

වරද පිළිගෙන ජීවිත කාලයටම කළු පැල්ලමක් ඉතිරි කරගන්නවාද? නැත්නම් නිර්දෝෂීභාවය ඔප්පු කරන්න ගොස් ආර්ථිකව විනාශ වෙනවාද? මිනිසුන්ව මෙවැනි අසරණ තේරීම් දෙකක් අතර හිර කරන මේ ක්‍රමය ගැන ඔබේ අවංක සහ නිර්භය අදහස පහළින් ලියන්න 👇. මේ නිහඬ බව බිඳින්න කාලයයි.

මේක නිකම්ම නිකන් Like කරලා, Comment කරලා නතර කළ යුතු දෙයක් නෙවෙයි. මේ කමල්ගේ කතාව දහස් ගණනක් කටහඬක් නැති මිනිසුන්ගේ යථාර්ථයයි. මේ පණිවිඩය නිසි බලධාරීන්ගේ ඇස ගැටෙන තුරු, වෙනසක් ගැන කතාබහක් ඇතිවන තුරු, Share 🔄 කරන වගකීම පුරවැසියෙකු ලෙස ඔබ සතුයි. මෙය එයට ඇති හොඳම අවස්ථාවයි.

📢 Published by Admins of Law Guide ©️

#නීතිමාර්ගෝපදේශය #කමල්ටයුක්තිය #යුක්තියේමිල #නීතිය

15/10/2025

බොරු චෝදනාවලට තවත් හිස නමන්න එපා! ⚖️ යුක්තියේ මාවත පෙන්වූ ශ්‍රේෂ්ඨාධිකරණ විජයග්‍රහණය! ✨

"අනේ අපිට නඩු කියන්න සල්ලි නෑ." 😥
"පොලිසියත් එක්ක හැප්පිලා දිනන්න බෑ." 😨
"බොරුවට හරි චෝදනාවක් දැම්මොත් ඉතින් ඉවරයි." 💔

මේ, අපේ රටේ බොහෝ සාමාන්‍ය මිනිසුන්ගේ හදවත් තුළ හොල්මන් කරන බියකරු සිතිවිලිය. පොලිසිය විසින් ද්වේෂ සහගතව පටවන, විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වැනි බරපතල බොරු චෝදනා හමුවේ අසරණ වී, තමන්ගේ ජීවිතයම අඳුරේ ගිලී යනු ඇතැයි සිතා සුසුම්ලන දහස් ගණනක් අප අතර සිටිති.

නමුත් ඒ අසරණභාවයේ අඳුර පලවා හරිමින්, බලාපොරොත්තුවේ සහ ධෛර්යයේ පහන් තරුවක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා (2025.10.10) ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවක් ගැන ඔබ දැනගත යුතුමය. මෙය, අසාධාරණයට එරෙහිව නැගී සිටින්නේ කෙසේදැයි අප සැමට කියාදෙන අගනා පාඩමකි. 📖

නඩු අංකය : (SC FR 259/2016)

විතානගේ සුනිල්ට සිදු වූ දේ - අළු ගසා නැගී සිටි අහිංසකයෙකුගේ කතාව ✊

​මේ කතාවේ ප්‍රධාන චරිතය, කොට්ටාවේ පදිංචි විතානගේ සුනිල් මහතාය මොහු වෘත්තියෙන් බස් රථ රියදුරු මහත්මයෙකි. 2016 ජූලි 09 වන දින, කොට්ටාව පොලිසියේ නිලධාරීන් විසින් ඔහුව අමානුෂික ලෙස පහරදී අත්අඩංගුවට ගන්නා ලදී.
​එතැන් සිට දිගහැරුණේ පොලිස් කුමන්ත්‍රණයක බිහිසුණු තිරනාටකයයි.

😳 ​කුමන්ත්‍රණයේ උපත

තමන් සිදුකළ පහරදීම වසන් කිරීම සඳහා, පොලිසිය විසින් සුනිල් මහතා ළඟ හෙරොයින් මිලිග්‍රෑම් 550ක් තිබූ බවට ව්‍යාජ චෝදනාවක් ගොනු කරන ලදී.

⚖️ ​යුක්තිය මගහැරීම

පහරදීම නිසා තුවාල ලබා සිටි සුනිල් මහතාව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළත්, පොලිසිය එය මගහැරියේය.

📜 ​ව්‍යාජ වෛද්‍ය වාර්තාව

ඉදිරිපත් කළ පළමු වෛද්‍ය වාර්තාවේ (වෛද්‍ය නවසිවායම් විසින්) සඳහන් වූයේ ඔහුට "කිසිදු බාහිර තුවාලයක් නොමැති" බවයි. (පසුව අධිකරණයේදී එම වෛද්‍යවරයාට තමන් පරීක්ෂා කළේ සුනිල් මහතාවමදැයි හඳුනාගැනීමට පවා නොහැකි විය).

👨‍⚖️ ​සත්‍යය හෙළිවීම

නමුත් සුනිල් මහතා සහ ඔහුගේ නීතිඥවරයා සටන අත්හැරියේ නැත. මහේස්ත්‍රාත්වරයාගේ දැඩි නියෝග මත නැවත ලබාගත් දෙවන වෛද්‍ය වාර්තාව, කුමන්ත්‍රණය උඩුයටිකුරු කළේය. එමගින් ඔහුගේ මුහුණේ, පපුවේ, නළලේ සහ අත්වල තුවාල පැහැදිලිව තහවුරු විය.
​ඊටත් වඩා වැදගත්ම කරුණ වූයේ, එම වෛද්‍ය වාර්තාවෙන්ම "සුනිල් මහතාට මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ කිසිදු ඉතිහාසයක් නොමැති" බව අධිකරණයට දැනුම් දීමයි.

​යුක්තියේ කඩුව ඔසවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ⚖️

​මෙම සියලු සාක්ෂි විමසා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, පොලිසියේ නිරුවත හෙළිදරව් කරමින් ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය.

1️⃣ ​වධහිංසාව තහවුරු වීම

පොලිස් නිලධාරීන්ගේ කෲර පහරදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙන් තහනම් කර ඇති වධහිංසාවට එරෙහි මූලික අයිතිය උල්ලංඝනය කිරීමක් බව අධිකරණය තීන්දු කළේය.

2️⃣ ​නීතියේ රැකවරණය අහිමි කිරීම

සුනිල් මහතාව නිසි වේලාවට වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් නොකිරීමෙන්, 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති නීතියේ සමාන රැකවරණයට ඇති අයිතිය කඩකර ඇති බවට තීන්දු විය.

3️⃣ ​අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම

මෙම අත්අඩංගුවට ගැනීම අත්තනෝමතික බවත්, 13(1) වගන්තිය උල්ලංඝනය කර ඇති බවත් අධිකරණය නිගමනය කළේය.

​යුක්තිය ඉටු කිරීම පමණක් නොව, මෙවන් අපරාධ නැවත සිදු වීම වැළැක්වීම සඳහා වැදගත් පණිවිඩයක් ලබා දෙමින්, අසාධාරණයට ලක්වූ විතානගේ සුනිල් මහතාට රුපියල් මිලියනයක (1,000,000) වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඊටත් වඩා වැදගත්ම දෙය නම්, එම මුදල වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් 1 සිට 6 දක්වා සියලු දෙනා විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින්ම ගෙවිය යුතු බවට නියම කිරීමයි!

හිස නමාගෙන ඉන්නැතුව සටන් කරන්න! ✊ ඔබට අසාධාරණයක් සිදුවුවහොත්, බිය නොවී අධිකරණය හමුවේ එය පවසන්න. වෛද්‍ය වාර්තාව ඔබේ බලවත්ම ආයුධය බව මතක තබා ගන්න.

අපගේ ලිපි නිරන්තරයෙන් කියවන්න! 📚 දැනුවත් වෙන්න! 💡 ඔබේ අයිතිවාසිකම් ගැන, නීතිය ගැන නිරන්තරයෙන් දැනුවත් වන්න. වැරැද්දක් නොකර, බොරු චෝදනාවකට හිස නමා, කරබාගෙන සිටිය යුතු නැත.

දැනුවත් වී, හොඳ පුරවැසියෙකු ලෙස කටයුතු කරන්න! 🇱🇰 සත්‍යය සහ නිවැරදි නීතිමය ක්‍රියාමාර්ග මගින් යුක්තිය දිනාගත හැකි බව මෙම තීන්දුවෙන් ඔප්පු වේ.

🧠 මෙම නඩු තීන්දුවේ වීරයා අහම්බෙන් ජයග්‍රහණය කළේ නැත. ඔහු ජයග්‍රහණය ලැබුවේ නීතිය ගැන දැනුවත්ව, ඒ අනුව නිර්භයව කටයුතු කළ නිසාය. මේ සම්බන්ධයෙන් අප පිටුව මගින් මීට පෙර ඔබව දැනුවත් කිරීමට ඉදිරිපත් කළ ලිපිය කියවා ඔබේ දැනුම තවත් ශක්තිමත් කරගන්න. ඔබට යම් දිනක මෙවන් අසාධාරණයකට මුහුණ දීමට සිදුවුවහොත්, ක්‍රියා කළ යුතු ආකාරය ඔබ එදාට දැන ගනු ඇත.

ඉහත නඩුව වැඩිදුර පරිශීලනය කිරීම සඳහා නඩු අංකය 👉 (SC FR 259/2016)

👉 පහත දිගුව ඔස්සේ එම ලිපි දැන්ම කියවන්න!

ලිපිය 01 - පොලිසියෙන් ඔබව බොරු නඩුවක පැටලුවොත් ඔබ කළ යුතු දේ 👇

https://www.facebook.com/share/p/1ZWPoteSzG/

ලිපිය 02 - පොලිසියෙන් ඔබට පහර දුන්නොත් ඔබ විසින් ගත යුතු ක්‍රියාමාර්ග 👇

https://www.facebook.com/share/p/1BBKufjxmT/

✍️ සැකසුම: නීතිඥ නලින්ද දිසානායක.

මේ වටිනා දැනුම ඔබ ළඟ පමණක් තබාගන්න එපා. අසාධාරණයට එරෙහිව නැගී සිටීමට තවත් කෙනෙකුට ශක්තියක් දෙන්න.

👍 Like කරන්න - මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකකින් අපව දිරිමත් කරන්න.

💬 Comment කරන්න - ඔබට නීතිය ගැන යම් ගැටළුවක් ඇත්නම්, පැකිළීමකින් තොරව කමෙන්ට් කරන්න. අපි පිළිතුරු දීමට සූදානම්.

🔁 Share කරන්න - මේ පණිවිඩය තවත් අයෙකුටත් දැකගන්නට සලස්වන්න. ඔබේ එක ශෙයා එකකින් අසරණ වූවෙකුට යුක්තියේ මාවත විවර විය හැකියි.

published by Admins of Law Guide ©️

14/10/2025

🗺️ විදෙස් සිහිනය රැකගන්න! ලංකාවෙන් ඉඩමක් ගනිද්දී ඔබ විසින් අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියා පටිපාටිය.

විදෙස් රටක අහස යට, දහඩිය, කඳුළු හෙළා ඔබ උපයන සෑම මුදලකම ඇත්තේ එකම සිහිනයකි. ඒ, උපන් බිමේ අභිමානයෙන් හිස තියන්නට තමන්ගේම කියා නිවහනක් තනා ගැනීමයි. 🏡✈️

නමුත්, ඒ සිහිනය වෙනුවෙන් ඔබ දුක් විඳ උපයා ලංකාවට එවන මුදල, සමීපතමයන් අතින්ම විනාශ වී, ඔබේ සිහිනය බොඳ වී ගිය අවස්ථා අප කොතෙකුත් අසා තිබේද? ඔබ එවන මුදලින් වෙනත් අය තමන්ගේ නමට ඉඩම් ගෙන, ගෙවල් හදාගෙන සැප විඳිද්දී, වසර ගණනකට පසු ඔබ මව්බිමට එන්නේ හිස් අතින් විය හැකියි. මේ ඒ කටුක යථාර්ථයට තිත තබා, ඔබේ දේපළ නීතියේ රැකවරණ යටතේ සුරක්ෂිත කරගන්නා ආකාරය පහදා දෙන මාර්ගෝදේශයයි.

පළමු සහ වැදගත්ම පියවර වන්නේ නොතාරිස්වරයෙකු ලවා පත්තිරු පරීක්ෂාවයි! 📜

ඔබ මිලදී ගන්නට යන ඉඩමේ හතමුතු පරම්පරාව ගැනම සොයා බැලීම තමයි "පත්තිරු පරීක්ෂාවක්" කියන්නේ. අන්තර්ජාලයේ සිටින "ගොඩ පෙරකදෝරුවන්ගේ" උපදෙස් වලින් මේ කටයුත්ත කරන්නට කිසිවිටෙකත් නොසිතන්න. ඔබ කළ යුත්තේ පළපුරුදු, විශ්වාසවන්ත නොතාරිස්වරයකු මුණගැසී, ඔහු හරහා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් (ඉඩම් කන්තෝරුවෙන්) අදාළ ඉඩමේ පත්තිරු පරීක්ෂා කරවීමයි. 👨‍⚖️ මෙහිදී අවම වශයෙන් වසර 30ක්වත් අතීතයට දිවෙන ඉඩමේ සියලුම ගනුදෙනු, අයිතිකරුවන්, ඉඩම උකස් කර ඇත්ද, එම උකස් නිදහස් කර ඇත්ද, යම් අයකු විසින් ඉඩමට විකිණීම තහනම් කරන කේවියට් (Caveat) දමා ඇත්ද වැනි සියලු කරුණු ඉතා ගැඹුරින් පරීක්ෂා කෙරේ. වැදගත්ම දෙය නම්, ඉඩමට ඇති ප්‍රවේශ මාර්ගයේ (පාරේ) ඔප්පුව පවා පරීක්ෂා කිරීමට අමතක නොකිරීමයි. පාරේ ඇති සුළු දෝෂයක් නිසා අනාගතයේදී ඔබේ සම්පූර්ණ ඉඩමම විකුණාගත නොහැකි තත්ත්වයකට පත්විය හැකිය. නිවැරදි පත්තිරු පරීක්ෂාවක් යනු ඔබට පමණක් නොව, ඔබේ අනාගත පරම්පරාවටද කරන විශාලම ආයෝජනයකි.

පිටරට සිට ඔප්පුවට අත්සන් කරන්නේ කොහොමද? ✍️

පැරණි නීතිය යටතේ ඉඩමක් මිලදී ගැනීමේදී ගැනුම්කරුට ඔප්පුවට අත්සන් කිරීම අනිවාර්ය නොවීය. නමුත්, මෑතකදී හඳුන්වා දුන් නව නීතියට අනුව, පැවරුම් ඔප්පුවකට ගැනුම්කරුගේ අත්සන සහ මාපටැඟිලි සලකුණ අනිවාර්ය කර තිබේ. "ඉතින් මම පිටරට ඉන්න ගමන් කොහොමද ලංකාවේ ඔප්පුවකට අත්සන් කරන්නේ?" මේ ඔබගේ හිතේ නැගෙන ලොකුම ගැටලුව විය හැකියි. ඔබට කිසිසේත්ම ඔප්පුව කුරියර් සේවාවක් මගින් ගෙන්වාගෙන අත්සන් කර නැවත යැවිය නොහැක. එය නීති විරෝධීය. එසේ නම්, විදෙස්ගත ඔබට ඇති එකම සහ නීත්‍යනුකූලම විසඳුම කුමක්ද?

විදෙස්ගත ඔබට ඇති එකම විසඳුම වන්නේ "විදේශ ඇටර්නි බලපත්‍රයයි" (Foreign Power of Attorney) 📄✨

"ඇටර්නි බලපත්‍රයක්" යනු ඔබ වෙනුවෙන් යම් නීතිමය කාර්යයක් කිරීමට වෙනත් පුද්ගලයෙකුට බලය පැවරීමයි. ඔබ විදේශයක සිටින විට, ලංකාවේ ඉඩමක් මිලදී ගැනීම සඳහා අත්සන් කිරීමට ඔබ විශ්වාස කරන පුද්ගලයෙකුට බලය පැවරීම "විදේශ ඇටර්නි බලපත්‍රයක්" මගින් සිදු කළ හැකිය. මෙහිදී බලය පවරන ඔබ 'ඇටර්නි අධිපති' ලෙසත්, බලය ලබන පුද්ගලයා 'ඇටර්නි බලකරු' ලෙසත් නීතිය හඳුන්වයි. ඔහු ඔබ වෙනුවෙන් අත්සන් කළද, නීතිය ඉදිරියේ එය සලකන්නේ ඔබ විසින්ම එම කාර්යය කළා සේය. මේ හරහා ඔබට ඉඩම් මිලදී ගැනීමට, විකිණීමට, බැංකු කටයුතු කිරීමට මෙන්ම අධිකරණ කටයුතුවලට පවා බලය පැවරිය හැකිය.

විදේශ ඇටර්නි බලපත්‍රයක් නිවැරදිව හදාගන්නේ මෙහෙමයි! 📋

මෙම ක්‍රියාවලිය ඉතාම සරලයි. පළමුව, ලංකාවේ සිටින ඔබේ නොතාරිස්වරයා අමතා ඔබේ අවශ්‍යතාවය (ඉඩමක් මිලදී ගැනීමට බව) පවසන්න. ඉන්පසු ඔබ බලය පවරන පුද්ගලයාගේ (ඇටර්නි බලකරුගේ) සම්පූර්ණ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය වැනි තොරතුරු නිවැරදිව ලබා දෙන්න. ඒ සමඟම ඔබේ විදේශ ගමන් බලපත්‍රයේ අංකය, විදෙස් ලිපිනය සහ ලංකාවේ ලිපිනයද ලබාදිය යුතුය. 📤 නොතාරිස්වරයා විසින් ඇටර්නි බලපත්‍රය සකසා ඔබට විදෙස් රටට එවන අතර, ඔබ කළ යුත්තේ ඔබ සිටින රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හෝ මහ කොමසාරිස් කාර්යාලයට ගොස්, තානාපතිවරයෙකු හෝ බලයලත් නිලධාරියෙකු සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ එයට අත්සන් කිරීමයි. ✍️👨‍💼 ඉන්පසු එම ලියවිල්ල නැවත ලංකාවට එවිය යුතු අතර, ඔබේ ඇටර්නි බලකරු විසින් දිවුරුම් ප්‍රකාශයක්ද සමඟ එය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය. මෙම ලියාපදිංචියෙන් පසු, ඔබේ ඇටර්නි බලකරුට ඔබ වෙනුවෙන් ඉඩම් ඔප්පුවට අත්සන් කිරීමට පූර්ණ නීතිමය බලය ලැබේ.

ඇටර්නි බලකරුට මගේ ඉඩම විකුණන්න පුළුවන්ද? 🔐

මෙතැනදී ඔබට ඇතිවන ලොකුම සහ සාධාරණම චකිතය නම්, "ඉඩමක් ගන්න බලය දුන්නා වගේ, ඒ බලය පාවිච්චි කරලා මටත් හොරෙන් මේ ඉඩම විකුණන්න ඇටර්නි බලකරුට පුළුවන් වෙයිද?" යන්නයි.

පිළිතුර ඉතා පැහැදිලියි, නැහැ! ඊට හේතුව ඔබ සකස් කරගන්නේ ඕනෑම දෙයකට බලය දෙන "සාමාන්‍ය ඇටර්නි බලපත්‍රයක්" නොව, එක් නිශ්චිත කාර්යයකට පමණක් බලය දෙන "විශේෂ ඇටර්නි බලපත්‍රයක්" වීමයි. 🛡️ ඔබ නොතාරිස්වරයාට උපදෙස් දිය යුත්තේ, අදාළ ඉඩම මිලදී ගැනීම සඳහා ඔප්පුවට අත්සන් කිරීමට පමණක් බලය ලබා දෙන ලෙස මෙම ලේඛනය සකස් කරන ලෙසයි. එම එක් කාර්යය අවසන් වූ සැනින්, එනම් ඔබ වෙනුවෙන් ඉඩමේ ඔප්පුවට අත්සන් කළ මොහොතේම, එම ඇටර්නි බලපත්‍රයේ නීතිමය වලංගුභාවය ඉබේටම අහෝසි වී යයි. ඉන්පසුව එම ලියවිල්ල භාවිතා කර කිසිදු ගනුදෙනුවක් කිරීමට ඔබගේ ඇටර්නි බලකරුට නොහැකිය. එබැවින්, ඔබගේ ආයෝජනයේ ආරක්ෂාව 100%ක්ම තහවුරු කරගැනීමට, සෑමවිටම එක් කාර්යයකට සුවිශේෂී වූ ඇටර්නි බලපත්‍රයක් පමණක් සකස් කරගැනීමට මතක තබාගන්න.

ඔබේ හිතේ තියෙන අනිත් ප්‍රශ්න! 🤔

බොහෝ දෙනෙකුට ඇති වන ප්‍රධානම ගැටලුවක් නම්, ඇටර්නි බලපත්‍රය හරහා ඉඩම මිලට ගත් විට, එය මුලින්ම ලියැවෙන්නේ ඇටර්නි බලකරුගේ නමටද, පසුව තමන්ගේ නමට මාරු කරගත යුතුද යන්නයි. කිසිසේත්ම එසේ අවශ්‍ය නැත! ✅ මෙහිදී ඇටර්නි බලකරු කරන්නේ ඔබ වෙනුවෙන් අත්සන් කිරීම පමණි. ඉඩමේ මුල් ඔප්පුව ලියැවෙන්නේ කෙළින්ම ඔබේ නමටයි. දේපළේ සම්පූර්ණ අයිතිය පළමු දිනයේ සිටම ඔබට හිමිවේ. දෙවන ගැටලුව නම්, ඔප්පුව විදේශයට ගෙන්වාගෙන අත්සන් කළ නොහැක්කේ ඇයිද යන්නයි. ශ්‍රී ලංකා නීතියට අනුව, සාධන පත්‍රයක් (ඔප්පුවක්) අදාළ පාර්ශ්වයන්, සාක්ෂිකරුවන් සහ නොතාරිස්වරයා ඉදිරියේ එකම අවස්ථාවේ අත්සන් තැබිය යුතුය. එම නිසා, විදේශයක සිට දේපළක් මිලදී ගැනීමට ඇති එකම නීත්‍යනුකූල සහ සුරක්ෂිතම ක්‍රමය විදේශ ඇටර්නි බලපත්‍රය පමණි.

ඔබේ සිහිනය සුරක්ෂිත කරගන්න! 💖

ඔබ විදේශයක සිට ලංකාවේ දේපළක් මිලදී ගන්නවා නම් හෝ විකුණනවා නම්, නීතියේ රැකවරණය ලබාගැනීමට කිසිවිටෙකත් මැලි නොවන්න. සුළු මුදලක් ඉතිරි කරගැනීමට සිතා වැරදි මාර්ගවල ගියහොත්, ඔබ ජීවිත කාලයම මහන්සියෙන් හම්බ කළ සියල්ල ඔබට අහිමි වී යා හැකිය. එබැවින්, නිවැරදි නීතිමය ක්‍රියාපටිපාටිය අනුගමනය කර, ඔබේ විදෙස් සිහිනය සැබෑ කරගන්න. එය ඔබ සහ ඔබේ අනාගතය වෙනුවෙන් ගන්නා බුද්ධිමත්ම තීරණය වනු ඇත. ✨

✍️සැකසුම: නීතිඥ නාලින්ද දිසානායක.

මෙම තොරතුරු විදේශයක දුක් මහන්සි වී තම සිහිනය සැබෑ කරගැනීමට වෙහෙසෙන අපේම සහෝදර සහෝදරියන් වෙත ලැබෙන්නට සලස්වන්න. ඒ වෙනුවෙන් මෙම ලිපිය හැකිතාක් Share කරන්න. 🙏

මේ සම්බන්ධයෙන් ඔබටත් යම් ගැටළුවක්, නොතේරෙන තැනක් ඇත්නම්, ඒ ගැන පහළ Comment Section එකේ සටහනක් තබන්න. 💬 මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා නම්, අපව දිරිමත් කිරීමට Like 👍 එකක් දාන්නත් අමතක කරන්න එපා.

📢 Published by admins of Law Guide ©️

#ඉඩම්නීතිය #විදේශඇටර්නිබලපත්‍ර #ලංකාවේඉඩම් #විදෙස්ගත #නීතිඋපදෙස් #දේපළනීතිය #ඔබේසිහිනයසුරකින්න

13/10/2025

🏛️ නීතිඥ වෘත්තියේ ගෞරවය, විෂමාචාරය සහ මහජන විශ්වාසය 🇱🇰

මෑතකදී ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ වාර්තා වූ සිදුවීමත් සමග, මෙරට සමස්ත යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවෙකු වන නීතිඥවරයාගේ වෘත්තීයභාවය සහ ආචාර ධර්ම පිළිබඳව පුළුල් මහජන කතිකාවතක් නිර්මාණය වී ඇත. 🧐

නීතිඥ වෘත්තිය යනු හුදෙක් රැකියාවක් නොව, ඕනෑම සමාජයක ඉහළ සම්ප්‍රදායන්ගෙන් සහ සදාචාරාත්මක පදනමකින් පෝෂණය වූ ගෞරවනීය මෙහෙවරකි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අධිකරණ සංවිධාන පනතට අනුව, "හොඳ කීර්තියක් ඇති සහ දක්ෂ දැනුමක් සහ හැකියාවක් ඇති පුද්ගලයන්" ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥවරුන් ලෙස ඇතුළත් කර ගනු ලබන්නේ මෙම උත්තරීතර වගකීම දැරීමට ඔවුන් සතු යෝග්‍යතාවය සලකා බැලීමෙනි.

එහෙත්, එම විශ්වාසය කඩවූ අවස්ථා කිහිපයක් පිළිබඳව මෑතකාලීනව වාර්තා වීම, මෙම වෘත්තියේ අභිමානය සුරැකීමේ සහ විෂමාචාරයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේ වැදගත්කම යළි යළිත් අපට සිහිපත් කරවයි. 😟

📜 නීතිඥවරයෙකුගේ භාරදූර කාර්යභාරය කුමක්ද? 🤔

ඔවුන්ගේ මූලිකම වගකීම වන්නේ තම සේවාදායකයාට උපදෙස් දීම සහ යුක්තිය පසිඳලීමේ ඕනෑම ආයතනයක් ඉදිරියේ ඔවුන් නියෝජනය කිරීමයි. නීතිඥවරයෙකුට, නිසි ගාස්තුවක් ගෙවන සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ නොහැක. කෙසේ වෙතත්, එම නඩුවට පෙනී සිටීමෙන් තමාට වෘත්තීය නිදහස ආරක්ෂා කර ගැනීමට නොහැකි වන බවට හෝ යුක්තිය පසිඳලීමේ කාර්යයට එය පටහැනි වන බවට පෙනී යන්නේ නම්, එම නඩුව භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට නීතිඥවරයාට සදාචාරාත්මක අයිතියක් ඇත. ✋ තමන් සාක්ෂිකරුවෙකු වන නඩුවක් භාර නොගැනීම, එකම නඩුවේ පටහැනි අයිතිවාසිකම් ඇති පාර්ශ්ව කිහිපයක් නියෝජනය නොකිරීම, සහ කිසිදු අයුරකින් තැරැව්කාර සේවයේ හෝ වෘත්තීය ප්‍රචාරණයේ නොයෙදීම ඔවුන්ගේ ආචාර ධර්ම පද්ධතියේ මූලිකාංග වේ. ඔවුන් අධිකරණයට, විනිශ්චය සභාවට සහ සමස්ත නීති පද්ධතියටම සහාය වීමටත්, වෘත්තියේ ස්වාධීනත්වය සුරැකීමටත් බැඳී සිටී. විනිසුරුවරයෙකු සිය තීන්දුවක සඳහන් කළ පරිදි, "නීතිඥ වෘත්තිය හුදෙක් වෘත්තියක් නොව ගෞරවනීය මහජන විශ්වාසයකි." 🙏

නීතිඥවරයාගේ වගකීම් මෙන්ම, අධිකරණ සංවිධාන පනත මගින් නීතිඥවරයාට සහ පුරවැසියාට හිමිවන මූලික නියෝජන අයිතිය ද ඉතා පැහැදිලිව තහවුරු කර ඇත. 🏛️ පනතට අනුව, සෑම නීතිඥවරයෙකුටම සේවාදායකයින්ට සහාය වීමට, උපදෙස් දීමට සහ යුක්තිය පසිඳලන ඕනෑම අධිකරණයක් හෝ වෙනත් ආයතනයක් ඉදිරියේ පෙනී සිටීමට, කරුණු දැක්වීමට හෝ ක්‍රියා කිරීමට අයිතියක් ඇත.

ඊටත් වඩා වැදගත් වන්නේ, එවැනි ඕනෑම ආයතනයක් ඉදිරියේ කරුණු දැක්වීමට අයිතියක් ඇති සෑම පුරවැසියෙකුටම, තමන් කැමති නීතිඥවරයෙකු විසින් තමන්ව නියෝජනය කරවීමට නීතියෙන්ම අයිතියක් හිමි වීමයි. මෙම අයිතිය අර්ධ - අපරාධ බලතල ක්‍රියාත්මක කරන විනිශ්චය සභා වැනි ආයතන ඉදිරියේදී ද වලංගු වන බව පනත වැඩිදුරටත් තහවුරු කරයි. 🗣️ මෙය, නීතිඥ වෘත්තිය යනු පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරකින ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය සහ සුරක්ෂිත අංගයක් බවට කදිම සාක්ෂියකි.

⚖️ විශ්වාසය බිඳ වැටුණු අවස්ථා... 💔

එම මහජන විශ්වාසය බිඳ වැටුණු අවස්ථා ඉතිහාසය පුරාම දක්නට ලැබේ. මෑතකාලීන සිදුවීම් කිහිපයක් මේ සඳහා කදිම උදාහරණ සපයයි.

1️⃣ 📄 එක් අවස්ථාවක, නීතිඥවරයෙකු අභියාචනාධිකරණ ලේඛනාගාරයට පිවිස, නඩු ගොනුවක් ලබාගෙන එහි පිටු දෙකක් නීති විරෝධී ලෙස ඉරා ඉවත් කිරීමේ බරපතල චෝදනාවට වරදකරු විය. මෙම ක්‍රියාවෙන් ඔහු සමස්ත නීති වෘත්තියේම කීර්තිනාමයට කළු පැල්ලමක් එක් කළ බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුගේ නීතිඥභාවය අහෝසි කිරීමට නියෝග කළේය.

2️⃣ 💰 තවත් සිදුවීමකදී, මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකු, විශ්‍රාමික මේජර්වරයෙකුගෙන් නඩු කටයුත්තක් සඳහා රුපියල් 50,000ක අත්තිකාරම් මුදලක් ලබාගෙන, පොරොන්දු වූ සේවාව ඉටු නොකොට, මුදල් හෝ ලේඛන ආපසු ලබා දීම පැහැර හැර තිබිණි. මෙය සේවාදායකයාගේ විශ්වාසය සෘජුවම පළුදු කිරීමක් ලෙස දුටු ශ්‍රේෂ්ඨාධිකරණය, එම නීතිඥවරයාගේ නම නීතිඥ නාමලේඛනයෙන් කපා හැරීමට නියෝග කළේය.

3️⃣ ⛓️ මීටත් වඩා බරපතල සිදුවීමක් වූයේ, තම නීතිඥභාවය තාවකාලිකව අත්හිටුවා තිබියදී, මියගිය නීතිඥවරයෙකුගේ නොතාරිස් බලපත්‍රයක් යොදා ගනිමින් වංචනික ලෙස ඔප්පු සකස් කළ නීතිඥවරයෙකුට වසර 08ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමයි.

මෙවැනි ක්‍රියා මගින් සාමාන්‍ය ජනතාව නීතිඥවරුන් පිළිබඳව පමණක් නොව, අධිකරණ පද්ධතිය කෙරෙහි ද තබා ඇති විශ්වාසය බිඳ වැටීම නම් භයානක ප්‍රවණතාවයට මග පාදයි. 📉

සමස්ත වෘත්තිය දෙසම වපර ඇසින් නොබලමු 👀

මෙවැනි කණගාටුදායක සිදුවීම් හමුවේ වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර දඬුවම් පැමිණවීම අත්‍යවශ්‍ය වන අතරම, එක් අයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ වරදක් මුල් කරගෙන, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සහ තම සේවාදායකයන්ට අවංකව සේවය කරන දහස් සංඛ්‍යාත නීතිඥ ප්‍රජාව සමස්තයක් ලෙස හෙළා දැකීමෙන් වැළකී සිටීමටද අප වගබලා ගත යුතුය. ඕනෑම වෘත්තියක මෙන්ම නීති වෘත්තියේ ද 'කළු බැටළුවන්' සිටිය හැකි නමුත්, ඒ සුළුතරය නිසා සමස්ත වෘත්තියේම ගෞරවය සහ කැපවීම අමතක කිරීම, යුක්තියේ මාවතට එළිය දල්වන බහුතරයකට කරනු ලබන බලවත් අසාධාරණයකි. ✨

📖 නීතියේ රැකවරණය සහ ප්‍රතිපාදන 🛡️

වෘත්තීය විෂමාචාරයන්ට දඬුවම් පැමිණවීමට අමතරව, නීතිඥ වෘත්තියේ ගුණාත්මකභාවය සහ ගෞරවය ආරම්භයේ සිටම ආරක්ෂා කිරීම සඳහා, නුසුදුසු පුද්ගලයන් වෘත්තියට ඇතුළත් කර ගැනීම වැළැක්වීමේ බලය ද ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි වේ. 🚪 අධිකරණ සංවිධාන පනතේ 42(1) වගන්තියට අනුව, යම් පුද්ගලයෙකු නීතිඥවරයෙකු ලෙස ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පූර්ණ බලය ඇත. එම ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කරමින්, අයදුම්කරු විසින් ඉල්ලා සිටියහොත්, එම ප්‍රතික්ෂේප කිරීමට පාදක වූ හේතු විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය බැඳී සිටින බවද පනතේ සඳහන් වේ. ⚖️ මෙය, වෘත්තියේ ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට අධිකරණය ඉටුකරන ප්‍රමුඛ සහ ක්‍රියාකාරී කාර්යභාරය මනාව පැහැදිලි කරයි.

එමෙන්ම, මෙවැනි වෘත්තීය විෂමාචාරයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ශක්තිමත් ප්‍රතිපාදන ස්ථාපිත කර ඇත. නීතිඥවරුන් බඳවා ගැනීමේ සහ ලියාපදිංචි කිරීමේ බලය ඇති ශ්‍රේෂ්ඨාධිකරණයටම, ඔවුන්ගේ විනය පාලනය කිරීමේ සහ දඬුවම් පැමිණවීමේ බලය ද හිමි වේ. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 42(2) වගන්තියට අනුව, "කිසියම් වංචාවක්, දූෂණයක්, අපරාධයක් හෝ වරදක්" සම්බන්ධයෙන් වරදකරුවෙකු වන ඕනෑම නීතිඥවරයෙකුගේ සේවය අත්හිටුවීමට හෝ තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාවේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇත. 🧑‍⚖️ මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථම, චෝදනාවල පිටපතක් ඇතුළත් දැන්වීමක් අදාළ නීතිඥවරයා වෙත පෞද්ගලිකව භාරදී, ඊට එරෙහිව කරුණු දැක්වීමට සාධාරණ කාලයක් ලබා දිය යුතු බව එම පනතේ 42(3) වගන්තිය මගින් තහවුරු කර ඇත. ඉහත සඳහන් කළ නීතිඥභාවය අහෝසි කිරීමේ සහ සිර දඬුවම් නියම කිරීමේ තීන්දු, මෙම ව්‍යවස්ථාපිත බලය ක්‍රියාත්මක වීමේ ප්‍රායෝගික උදාහරණ වේ.

නීතිඥ විනය පාලනය හුදෙක් මහජන පැමිණිලි මත පමණක් රඳා පවතින ක්‍රියාවලියක් නොවන බවට අධිකරණ සංවිධාන පනත සහතික කරයි. 👨‍⚖️ පනතේ 42(4) වගන්තියට අනුව, නීතිඥවරයෙකු යම් අධිකරණයක් හෝ වෙනත් විනිශ්චය සභාවක් ඉදිරියේ නියම කරන ලද අපරාධයකට හෝ වරදකට වරදකරු වුවහොත්, ඒ පිළිබඳව වහාම ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කිරීම එම අධිකරණයේ හෝ විනිශ්චය සභාවේ මුලසුන හොබවන නිලධාරියාගේ යුතුකම වේ. 📨 එවැනි වාර්තාවක් ලැබුණු පසු, එම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් අවසන් වන තෙක් හෝ විනය ක්‍රියාමාර්ගයක් අවසන් වන තෙක්, එම නීතිඥවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය හිමිවේ. මෙය, අධිකරණ පද්ධතිය තුළම පවතින ස්වයං-නියාමන සහ සක්‍රීය සුපරීක්ෂණ යාන්ත්‍රණයක් මගින් මහජන විශ්වාසය තවදුරටත් තහවුරු කරයි.

🤝 නීතිඥ සංගමයේ කාර්යභාරය 🧑‍🤝‍🧑

මෙම විනය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ද සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇත. එය හුදෙක් වෘත්තිකයන්ගේ සංගමයක් පමණක් නොව, නීතියේ ආධිපත්‍යය සුරැකීමේ ක්‍රියාවලියේ වැදගත් පාර්ශ්වකරුවෙකි. අධිකරණ සංවිධාන පනතේ 43 වන වගන්තියට අනුව, නීතිඥවරයෙකුගේ විෂමාචාරයක් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතුද යන්න තීරණය කිරීම සඳහා, මූලික විමර්ශනයක් පැවැත්වීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විනය කමිටුවකට භාර දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පවතී. මෙම විනය කමිටුව, නීතිඥ සංගමයේ සාමාජිකයන් අතරින් අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලබන මණ්ඩලයකින් සමන්විත වේ. ඒ අනුව, නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට සහාය වෙමින්, වෘත්තියේ ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා මූලික පෙළේ විමර්ශන ආයතනයක් ලෙස ක්‍රියා කරයි. 🔎

📝 පැමිණිලි කරන්නේ කෙසේද? 👉

නීතිඥවරයෙකුගේ වෘත්තීය විෂමාචාරයක් හේතුවෙන් අගතියට පත් ඕනෑම පුරවැසියෙකුට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නීතිමය මාර්ග පවතී. එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතු ප්‍රධානම අධිකාරිය වන්නේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයයි. සාමාන්‍යයෙන්, දිවුරුම් ප්‍රකාශයක් මගින් සනාථ කරන ලද පෙත්සමක් හෝ මෝසමක් මගින්, අදාළ විෂමාචාරය පිළිබඳ සියලු විස්තර ඇතුළත් කර, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත පැමිණිල්ල යොමු කළ හැකිය. 📨 එමගින් අධිකරණ සංවිධාන පනතේ දක්වා ඇති විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ වනු ඇත. මීට අමතරව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි අතර, එමගින් ඔවුන්ගේ අභ්‍යන්තර විමර්ශන ක්‍රියාවලිය ආරම්භ කර, අවශ්‍ය නම් එම කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමට පියවර ගනු ඇත.

✨ යුක්තියේ පූජාසනය සුරකිමු! 🌟

අවසාන විග්‍රහයේදී, නීතියේ සළුව පැළඳ සිටින සෑම පුද්ගලයෙකුම, තමන් දරන්නේ හුදු වෘත්තියක් නොව, යුක්තියේ පූජාසනය මත තැබූ පූජනීය භාරයක් බව වටහා ගත යුතුය. 🕊️ කිහිප දෙනෙකුගේ විෂමාචාරී ක්‍රියා නිසා, තම වෘත්තියට සහ මහජනතාවට අවංකව සේවය කරන දහස් සංඛ්‍යාත නීතිඥවරුන්ගේ ගෞරවයට කැළලක් ඇති වීමට ඉඩ නොතැබිය යුතුය. අධිකරණය, නීතිඥ සංගමය සහ මහජනතාව යන සියලු පාර්ශ්වයන් එක්ව, නීති වෘත්තියේ අභිමානය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් සුරැකීමට කැපවීම, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය සාධකයකි. 🤝💖

මෙම ලිපිය ඔබට වැදගත් යැයි හැඟේ නම්, Like 👍 කර, Share 🔄 කර, ඔබේ අදහස් Comment 💬 කරන්න.

📢 Published by admins of Law Guide ©️

#නීතිය #සමාජදැනුවත්කම #නීතිඥආචාරධර්ම #නීතියදැනගමු #නීතිඥසංගමය #මහජනවිශ්වාසය #ඔබේඅයිතිවාසිකම්දැනගන්න

Address

Narammala

Telephone

+94760716144

Website

Alerts

Be the first to know and let us send you an email when නීති සවිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share